මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා කිහිපනමක් අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ මැයි මාසයේදී පැවැත්වෙන විශේෂ වන්දනාමාන සහ ප්‍රදර්ශන වැඩපිළිවෙළක් වෙනුවෙනි.
මෙසේ වැඩම කරවීමට නියමිත පූජනීය ධාතූන් වහන්සේලා අතර අම්පාර ලාහුගල නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණය කරගත් ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් ධාතූන් වහන්සේලා, තායිලන්තයෙන් ප්‍රදානය කර කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළත් වේ.
ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ සහ පඤ්ඤාකර යන ස්වාමීන් වහන්සේලා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව මැයි මස 02 වැනිදා සිට මැයි මස 10 වැනිදා දක්වා අමෙරිකාවේ වෙසෙන සැදැහැවතුන් වෙනුවෙන් මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය සහ වන්දනාමාන කටයුතු පැවැත්වීමට නියමිතය.














