මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකර්වරුන් ඇතුළු වී සිදුකළ මූල්‍ය සොරකමක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
2026 ජනවාරි මාසයේදී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් හඳුනාගත් සැකකටයුතු තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත මූලික පැමිණිලි සිදු කර ඇත. ඒ ඔස්සේ සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
අමාත්‍යාංශය මගින් සිදුකළ අභ්‍යන්තර මූලික පරීක්ෂණයකින් පසුව, මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
විමර්ශන කටයුතු තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින බැවින්, ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම්වලට අනුකූලව ජාත්‍යන්තර සම්බන්ධීකරණය හරහා ඉදිරි පියවර ගැනීමට රජය අපේක්ෂා කරයි. විමර්ශනවලට බාධාවක් නොවන පරිදි මෙහි යාවත්කාලීන තොරතුරු ඉදිරි සුදුසු අවස්ථාවකදී ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.














