2026 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිසුන්ට මෙන්ම පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව අද (අප්‍රේල් 22) නිල වශයෙන් නිවේදනය කෙරිණි. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා අතර මේ පිළිබඳ සහතික පත්‍ර හුවමාරුව සිදු විය. මෙම ප්‍රදානය යටතේ රෙදි මීටර් මිලියන 11.484ක් ශ්‍රී ලංකාවට හිමි වී ඇති අතර, ඒ හරහා දිවයින පුරා සිටින මිලියන 4.4කට අධික සිසුන් පිරිසකට සිය නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පාසල් නිල ඇඳුම යනු හුදෙක් රෙදි පිළි පමණක් නොව එය දරුවන් අතර ගෞරවය සහ සමානාත්මතාවය ඇති කරන සාධකයක් බවයි. රජය අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනය සඳහා චීනය ලබා දෙන මෙම අඛණ්ඩ සහයෝගය දෙරටේ මිත්‍රත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවද ඇය පැවසුවාය.
චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ මෙම නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන වසර හතරක සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ ශිෂ්‍යත්ව පිරිනැමීම හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට චීනය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














