ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් රජය අද (අප්‍රේල් 22) සිය ස්ථාවරය පැහැදිලි කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ එවැනි තීරණයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවට තමන් සතුව කිසිදු නිල තොරතුරක් නොමැති බවත්, එවැනි කරුණක් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ජනතාව තුළ පවතින දැඩි උනන්දුව සහ ආදරය පිළිබඳව රජය අවබෝධයෙන් පසුවන බවත්, ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට සහ එහි සංවර්ධනය වෙනුවෙන් ගත යුතු තීරණ නිසි වේලාවට ගැනීමට රජය පසුබට නොවන බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර, එරාන් වික්‍රමරත්න මහතා අතුරු කමිටු සභාපති ලෙස පත්කිරීමේ වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේ, එවැනි වාර්තා තමන් දුටුවද ඒ පිළිබඳ ස්ථිර තොරතුරක් නොමැති බවයි. මැයි දින රැලියට පෙර මෙවැනි ජනප්‍රිය තීරණයක් ගැනීමට රජය උත්සාහ කරන්නේද යන්න පිළිබඳව ඔහු සැක පළ කළේය.
ක්‍රිකට් පාලනයට රජය මැදිහත් වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද පසුගිය මාර්තු මාසයේ සිට සාකච්ඡා පවත්වා ඇති බව මීට පෙර වාර්තා විය.














