වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, සිව්වන විත්තිකරුට මරණ දඬුවම නියම කිරීමට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද (අප්‍රේල් 22) පස්වරුවේ නියෝග කළේය. මෙලෙස මරණ දඬුවම නියම වූයේ ‘කලුතර චූටී’ නමින් හැඳින්වෙන බද්දෙගම පදිංචි මෙරෙන්චි කංකානම්ගේ ප්‍රසාද් මනෝරංජන නැමැත්තාටය.
නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා වන හපුගලගේ නිලන්ති, ගුනෙත්තිගොඩ ලීලාවතී සහ රණසිංහ පතිරණගේ පියන්ති යන අය නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළේය. මෙහි දෙවන විත්තිකාරිය වූ ගුනෙත්තිගොඩ ලීලාවතී නඩු විභාගය අතරතුර මියගොස් සිටි බව ද වාර්තා වේ.
මෙම ඝාතනය සිදුවූයේ 2008 නොවැම්බර් මස 30 වැනිදාය. බද්දෙගම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් ජගත් නන්දන යන නිලධාරීන් දෙදෙනා බද්දෙගම කාමිංගල ප්‍රදේශයේ වැටලීමකට ගොස් සිටියදී මෙම වෙඩි තැබීම සිදුවිය. එහිදී බලපිටිය රන්දොඹේ පදිංචිව සිටි 28 හැවිරිදි දිලිප් කුමාරසිංහ මහතා ජීවිතක්ෂයට පත්විය.
රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබූ අතර, බද්දෙගම පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඊට සහාය විය. වසර 18ක කාලයක් පුරා ඇදුණු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක එක් අදියරක් අවසන් විය.














