දෙවැනි පාසල් වාරය ආරම්භ වුවද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි තීරණයක් ගෙන නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා චෝදනා කරයි. 2026 වසරේ දෙවැනි පාසල් වාරය ඇරඹී තිබුණ ද, මීට අදාළ මොඩියුල, ගුරු අත්පොත් හෝ ගුරු පුහුණු වැඩසටහන් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පෙර ගුරුවරුන් නිසි ලෙස පුහුණු කළ යුතු වුවද, එවැනි සූදානමකින් තොරව මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම තුළ පාසල් පද්ධතිය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු අවධාරණය කරයි. අවශ්‍ය උපකරණ සහ මාර්ගෝපදේශ නොමැතිව ගුරුවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද හෙතෙම පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයට පත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සෘජුවම වගකිව යුතු බව ස්ටාලින් මහතා සඳහන් කරයි. විශේෂයෙන්ම, මෙම අර්බුදය නිර්මාණය කළ බවට චෝදනා එල්ල වී ඇති ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කමිටුවේ ප්‍රගතිය පිළිබඳව ද මෙතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
මෙම පරිපාලනමය දුර්වලතා හේතුවෙන් සමස්ත අධ්‍යාපන පද්ධතියම අවිනිශ්චිතතාවයකට ඇද වැටී ඇති බව ගුරු සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.














