බටහිර ආසියානු කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිදුවන ඕනෑම බාධා කිරීමක් ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජුව බලපාන “රළු යථාර්ථයක්” බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කළේය. සිය තෙදින ජර්මන් සංචාරය ආරම්භ කරමින් එරට ආරක්ෂක සහ සුරක්ෂිතභාවය පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව අමතමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තම බලශක්ති අවශ්‍යතාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා බටහිර ආසියානු කලාපය මත යැපෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වන බාධා හුදු “දුරස්ථ සිදුවීම්” ලෙස සැලකිය නොහැකි බවත්, ඒවා ඉන්දියාවේ ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කරන බවත් ඔහු පැවසීය.
තාක්ෂණික පරිවර්තනයන් සමඟ වර්තමාන ආරක්ෂක තර්ජන අතිශය සංකීර්ණ හා අන්තර් සම්බන්ධිත වී ඇති බව රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කළේය. මෙම වෙනස් වන පරිසරයට අනුගත වීම සඳහා නව ආරක්ෂක උපාය මාර්ග සහ සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් ඉන්දියාව දැනටමත් අනුගමනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රය තුළ පෞද්ගලික සමාගම් සහ නවෝත්පාදන (start-ups) වේගයෙන් වර්ධනය වන බවත්, මෙය ඉන්දියාව සහ ජර්මනිය අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කළ හැකි ක්ෂේත්‍රයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පොදු වටිනාකම්වලින් බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ගෝලීය ආරක්ෂක කතිකාව හැඩගැස්වීමට දෙරටටම තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














