ඇමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව පෙන්ටගනය නිල වශයෙන් නිවේදනය කළේය. බදාදා නිකුත් කළ නිවේදනයකට අනුව මෙම ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන අතර නාවික හමුදා උප ලේකම් හං කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස පත් කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමය තුළ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුම මෑත මාසවලදී ඉවත් වූ අතර ෆෙලන් එම ලැයිස්තුවට එක්වූ නවතම නිලධාරියායි. මීට සති කිහිපයකට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් ද ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණු අතර ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දොළොසකට වැඩි පිරිසක් මේ වන විටත් සේවයෙන් ඉවත් කර ඇත.
ෆෙලන් මහතාගේ ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් පෙන්ටගනය ප්‍රකාශ කර නැතත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ කරුණු කිහිපයක් මෙයට බලපා ඇති බවයි. විශේෂයෙන්ම ට්‍රම්ප් රජයේ බලාපොරොත්තුව වූ ස්වර්ණමය බලඇණිය හෙවත් Golden Fleet ව්‍යාපෘතියේ මන්දගාමී ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අප්‍රසාදය මෙයට එක් හේතුවක් විය හැකිය. එසේම ට්‍රම්ප් මහතාට වඩාත් සමීප සහ විශ්වාසවන්ත පුද්ගලයෙකු මෙම වැදගත් ධුරයට පත් කරගැනීමේ අවශ්‍යතාවය ද මෙහිලා බලපා ඇති බව පැවසේ.
නව වැඩබලන ලේකම් ලෙස පත් වූ හං කාඕ යනු වසර 25ක නාවික හමුදා අත්දැකීම් සහිත ප්‍රවීණ නිලධාරියෙකි. ඔහු මීට පෙර හමුදාව තුළ ක්‍රියාත්මක වූ විවිධත්ව වැඩසටහන් හෙවත් DEI වැඩසටහන් දැඩි ලෙස විවේචනය කළ අයෙකු වන අතර යුද්ධ දිනිය හැක්කේ දැඩි විනයක් සහිත නිර්භීත සෙබළුන්ට පමණක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අයෙකි. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අවහිර කිරීම් මධ්‍යයේ ඇමෙරිකානු නාවික හමුදාවේ නායකත්වය මෙලෙස වෙනස් වීම ලෝක දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව තිබේ.















