කොළඹ වරායේ අනිවාර්ය පරීක්ෂාවකට ලක් නොකර බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (22) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී උණුසුම් වාද විවාද හටගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එවකට වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැඳවිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කළද, කමිටු සභාපති හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූ අතර, රජය විසින් වැරදිකරුවන් ආරක්ෂා කරන බවට විපක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී චෝදනා කළහ. මෙම බහාලුම් ප්‍රමාණය කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව (Green Channeling) මුදාහැරීම සම්බන්ධයෙන් වන විමර්ශනය පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, මෙවැනි වාතාවරණයක් යටතේ කමිටුවට සහභාගී වීම පිළිබඳව තවදුරටත් සලකා බලන බව විපක්ෂය අවධාරණය කළේය.














