ආර්ජන්ටිනාවේ රජයේ වියදම් අවම කිරීමේ සහ රාජ්‍ය යාන්ත්‍රණය කුඩා කිරීමේ සිය වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස, එරට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් කොංග්‍රස් මණ්ඩලය වෙත යොමු කිරීමට ලිබර්ටේරියන් ජනාධිපති හාවියර් මයිලි (Javier Milei) පියවර ගෙන තිබේ. පිරිවැය අඩු කිරීම, විනිවිදභාවය ඉහළ නැංවීම සහ පක්ෂ නීති දැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණු බව රජය පවසයි.
ආර්ජන්ටිනාවේ දැනට පවතින අනිවාර්ය ජාතික ප්‍රාථමික මැතිවරණ (PASO) ක්‍රමය “අසාර්ථක අත්හදා බැලීමක්” ලෙස හඳුන්වමින් එය අවලංගු කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. 2023 වසරේ පැවති ප්‍රාථමික මැතිවරණ සඳහා පමණක් රජයට ආර්ජන්ටිනා පෙසෝ බිලියන 45ක් (ඇමරිකානු ඩොලර් මිලියන 32.7ක්) වැය වී ඇති බවත්, එයින් පක්ෂ අභ්‍යන්තර ගැටලුවලට සාර්ථක විසඳුම් ලැබී නොමැති බවත් මයිලිගේ කාර්යාලය පෙන්වා දෙයි. පක්ෂවල අපේක්ෂකයන් තේරීම රජයේ මැදිහත් වීමෙන් තොරව අදාළ පක්ෂවල අභ්‍යන්තර කටයුත්තක් ලෙස පමණක් සිදු විය යුතු බව ඔහුගේ මතයයි.
මීට අමතරව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා වන අවම අවශ්‍යතා ඉහළ නැංවීමටත්, අධිකරණයකින් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත් වීම තහනම් කිරීමටත් මෙම පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇත. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බලයට පත් වූ මයිලි, ආර්ජන්ටිනාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා මෙලෙස දැඩි මූල්‍ය සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙමින් සිටී.














