ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ශ්‍රීව්පෝර්ට් (Shreveport) හිදී පසුගිය ඉරිදා සිදු වූ කුඩා දරුවන් අට දෙනෙකුගේ අමානුෂික සමූලඝාතනය සඳහා යොදාගත් ගිනිඅවිය නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සහ ඒ පිළිබඳව ෆෙඩරල් ඒජන්තවරුන්ට අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් 56 හැවිරිදි චාල්ස් ෆෝඩ් (Charles Ford) නමැති පුද්ගලයෙකුට එරෙහිව ෆෙඩරල් අභිචෝදකයෝ චෝදනා ගොනු කර ඇත.
පොලිසිය පවසන පරිදි, ශමාර් එල්කින්ස් (Shamar Elkins) නමැති පුද්ගලයා මෙම ගිනිඅවිය භාවිත කරමින් සිය දරුවන් හත් දෙනෙකු සහ බෑණනුවන් ඇතුළු වයස අවුරුදු 3 ත් 11 ත් අතර දරුවන් අට දෙනෙකු ඝාතනය කර තිබේ. මෙම වෙඩි තැබීමේදී ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවක බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, පසුව පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකාර එල්කින්ස් මියගොස් ඇත. චෝදනාවට ලක් වූ චාල්ස් ෆෝඩ් සතුව තිබූ ‘AR-style’ වර්ගයේ කෙටි තුවක්කුවක් මෙම ඝාතන සඳහා යොදාගෙන ඇති බවත්, මීට පෙර අපරාධ චෝදනාවලට වැරදිකරු වූවෙකු ලෙස ඔහුට ගිනිඅවි ළඟ තබා ගැනීමට අවසර නොමැති බවත් බලධාරීහු පෙන්වා දෙති.















