2025 වසරේදී කොලොම්බියානු සෙනෙට් සභික සහ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට සිටි මිගෙල් උරිබේ (Miguel Uribe) ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන කොලොම්බියානු ජාතිකයෙකු ආර්ජන්ටිනාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රයන් ෆර්නි කෲස් කැස්ටිලෝ (Brayan Ferney Cruz Castillo) ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවා කොලොම්බියාව වෙත පිටුවහල් කිරීමට නියමිත බව ආර්ජන්ටිනා බලධාරීහු බදාදා (22) ප්‍රකාශ කළහ.
මිගෙල් උරිබේ 2025 ජූනි මාසයේදී බොගෝටා නුවර මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, මාස දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු මාසයේදී ජීවිතක්ෂයට පත්විය. මෙය දශක කිහිපයකට පසු කොලොම්බියාවේ සිදුවූ දරුණුතම දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස සැලකේ.
ආර්ජන්ටිනා බලධාරීන් මුලින් මොහු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බව පැවසුවද, පසුව කොලොම්බියානු බලධාරීන් පැහැදිලි කළේ මොහු මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් වසර 21ක සිරදඬුවමක් විඳින කැතරින් ඇන්ඩ්‍රියා මාර්ටිනස්ගේ (Katherine Andrea Martinez) සහකරු බවයි. මෙම අත්අඩංගුවට ගැනීම හරහා ඝාතනයට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.















