ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ යුරෝපය පුරා නිවෙස්වල වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඉතිහාසයේ දරුණුතම ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණ දෙමින් සිටින යුරෝපීය වැසියන්, ඉහළ යන විදුලි ගාස්තු හමුවේ සිය පිරිවැය පාලනය කර ගැනීම සඳහා මෙම පියවර ගනිමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි අග භාගයේ යුද්ධය ආරම්භ වූ දා සිට ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ ඕලන්දය වැනි රටවල සූර්ය බලශක්ති උපකරණ සඳහා වූ ඉල්ලුම දෙගුණයකට වඩා වැඩි වී ඇත. යුද්ධය හේතුවෙන් තෙල්, ගෑස් සහ විදුලිය මිල ඉහළ යාම නිසා ව්‍යාපාර මෙන්ම සාමාන්‍ය නිවාස හිමියන් ද බලශක්ති වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වයෙන් මිදීමට විකල්ප මාර්ග සොයමින් සිටිති.
ජර්මානු සූර්ය බලශක්ති උපකරණ තොග වෙළෙන්දෙකු වන ‘Solarhandel24’ ආයතනයේ සම-නිර්මාතෘ ජැනික් නෝල්ඩන් පෙන්වා දෙන්නේ, මෙම යුද්ධය මගින් මෙතෙක් පැවති බලශක්ති පරායත්තතාවයේ බරපතලකම මනාව හෙළිදරව් කර ඇති බවයි. යුරෝපීය රජයන් ආනයනික තෙල් සහ ගෑස් මත ඕනෑවට වඩා විශ්වාසය තැබීම හේතුවෙන් මෙම අර්බුදයට මුහුණ දීමට සිදු වූ බව විචාරකයෝ පවසති. මේ වන විට යුරෝපයේ මුළු විදුලි ධාරිතාවෙන් තුනෙන් එකක් පමණ සූර්ය බලශක්තියෙන් සපුරා ගත්තද, ආනයනික බලශක්තිය මත යැපීම අවම කිරීම සඳහා යුරෝපය තවදුරටත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු විය යුතු බවට කර්මාන්ත විශේෂඥයෝ අවධාරණය කරති.















