පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටේ (Rodrigo Duterte) තමන්ව නිදහස් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අභියාචනා විනිසුරුවන් විසින් බදාදා (22) ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව එරට සිදුවූ බව කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවතින නඩු විභාගය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර තිබේ.
2016 සහ 2022 අතර කාලයේදී ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී දහස් ගණනක් පුද්ගලයන් ඝාතනය කිරීමට නායකත්වය දීම සම්බන්ධයෙන් ඩියුටර්ටේට චෝදනා එල්ල වී ඇත. 2025 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ 81 හැවිරිදි ඩියුටර්ටේ මේ වන විට හේග් නුවර ICC රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටී. පිලිපීනය 2018 වසරේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වූ බැවින් මෙම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව විත්ති පාර්ශ්වය තර්ක කළද, සාමාජිකත්වයෙන් ඉවත් වීමට පෙර පරීක්ෂණ ආරම්භ වී තිබූ බැවින් අධිකරණ බලය පවතින බව විනිසුරුවරු තීන්දු කළහ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පිලිපීනයේ සිට එය නැරඹූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් මහත් සතුටට පත්වූ අතර, නීතියට ඉහළින් කිසිවෙකු නොසිටින බවත් ඩියුටර්ටේ කළ අපරාධවලට වගකිව යුතු බවත් ඔවුහු පවසා සිටියහ.















