පොලිස්පතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය මගින් ක්‍රියාත්මක කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ දිවයින පුරා මෙහෙයුම් තීව්‍ර කර තිබේ. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලුම කොට්ඨාස මට්ටමින් සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව 2026 අප්‍රේල් 22 වන දින පමණක් පුද්ගලයන් 27,804 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් සැකපිට පුද්ගලයන් 551 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම් අතරතුර අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 16 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 228 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 177 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මීට අමතරව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කළ රථවාහන මෙහෙයුම්වලදී බේබදු රියදුරන් 90 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 4,123 ක් පවරා ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















