අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ සිය බලය තවදුරටත් තහවුරු කරමින් නෞකා දෙකක් සිය භාරයට ගෙන තිබේ. සති දෙකක කාලයක් පැවති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකාව ඒකපාර්ශ්විකව නිවේදනය කළද, ඉරානය මෙතෙක් ඒ පිළිබඳ සිය එකඟතාව පළ කර නොමැත.
ඉරාන සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානී මොහොමඩ් බගර් කලිබාෆ් (Mohammad Bagher Qalibaf) පෙන්වා දෙන්නේ පූර්ණ සටන් විරාමයක් සඳහා අමෙරිකාව විසින් පනවා ඇති නාවික අවහිරතා ඉවත් කළ යුතු බවයි. අමෙරිකානු නාවික හමුදාව තවදුරටත් ඉරාන තෙල් නැව් වටලමින් වෙළෙඳ කටයුතුවලට බාධා කිරීම යුදමය ක්‍රියාවක් ලෙස ඉරානය සලකනු ලබයි. මේ වන විට සාම සාකච්ඡා අඩාල වී ඇති අතර, දෙපාර්ශවය අතර මැදිහත්කරුවෙකු ලෙස පාකිස්ථානය කටයුතු කරමින් සිටී. මෙම උපායමාර්ගික ජල මාර්ගයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජනය තවදුරටත් වර්ධනය වී තිබේ.














