නැගෙනහිර චීනයේ ෂේජියැන්ග් ප්‍රාන්තයේ පිහිටි යීවූ (Yiwu) නගරය ලබා ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය පිළිබඳව නැවත සමාලෝචනය කර එම අත්දැකීම් රටේ අනෙකුත් ප්‍රදේශවල සංවර්ධනය සඳහා යොදා ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් දී තිබේ. ප්‍රාදේශීය සම්පත් නිවැරදිව කළමනාකරණය කරමින් ආර්ථිකය දියුණු කළ හැකි සාර්ථකම ආකෘතියක් ලෙස යීවූ නගරය හඳුන්වා දිය හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. “ලෝකයේ සුපිරි වෙළඳසැල” ලෙස විරුදාවලිය ලත් මෙම නගරය කුඩා භාණ්ඩ සඳහා ලොව ඇති විශාලතම තොග වෙළඳපොළට හිමිකම් කියන අතර නත්තල් සැරසිලිවල සිට ලෝක කුසලාන සමරු දක්වා ඕනෑම භාණ්ඩයක් එහිදී සොයාගත හැකිය.
චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ සාර්ථකත්වය විදහාපාන කැඩපතක් ලෙස සැලකෙන මෙම නගරය මේ වන විට රටවල් 230කට අධික සංඛ්‍යාවක් සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරික ආයතන මිලියන 1.26කට වඩා වැඩි ප්‍රමාණයකට නිවහන වේ. 2025 වසරේ දත්තවලට අනුව චීනයේ ප්‍රාදේශීය මට්ටමේ කලාප අතරින් ඉහළම අපනයන අගය වාර්තා කර ඇත්තේ ද යීවූ නගරයයි. සියලුම ප්‍රදේශ තමන් සතු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් තම ප්‍රදේශයට ගැළපෙන උසස් තත්ත්වයේ සංවර්ධන මාවතක් ගොඩනගා ගත යුතු බව ජනාධිපති ෂී මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.














