ඇමරිකානු උසස් තාක්ෂණය චීන හමුදාවේ දියුණුවට උපකාරී වන බවට නැගෙන බිය සමනය කිරීම සඳහා ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick) බදාදා සෙනෙට් මණ්ඩලය හමුවේ කරුණු පැහැදිලි කළේය. එහිදී ඔහු අවධාරණය කළේ, අද වන විට චීනය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත වඩාත්ම දියුණු H200 චිප්ස් කිසිවක් මිලදී ගෙන නොමැති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන නායක ෂී ජින්පින් අතර පවතින පෞද්ගලික හිතවත්කම මත පදනම්ව, තාක්ෂණය ලබා දීමේදී ජනාධිපතිවරයා ඉතා සුපරීක්ෂාකාරී සමබරතාවයක් (Delicate balance) පවත්වා ගන්නා බව ලුට්නික් ප්‍රකාශ කළේය. දියුණු අර්ධ සන්නායක (Semiconductors) අලෙවි කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුව ජනාධිපතිවරයා හොඳින්ම තේරුම් ගෙන ඇති බව ද ඔහු සෙනෙට් කමිටුව හමුවේ පැවසීය.
කෙසේ වෙතත්, උසස් තාක්ෂණික මෙවලම් චීනයට අලෙවි කිරීමට ජනාධිපතිවරයා තුළ ඇති කැමැත්ත පිළිබඳව සෙනෙට් සභිකයින් යම් සැකයක් මතු කළහ. ඇමරිකානු ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසිදු තාක්ෂණයක් චීනය අතට පත් නොවීමට වගබලා ගන්නා බව වාණිජ ලේකම්වරයා මෙහිදී සහතික විය.















