ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ නියෝජිත පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. ප්‍රංශ-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය වන සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිසට එරට සෙනෙට් සභිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් විය.
මෙහිදී “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය ලබා දුන් සහයෝගය කථානායකවරයාගේ ඇගයීමට ලක් වූ අතර, වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ ඇති වූ අභියෝග කළමනාකරණය කිරීමට රජය ගත් පියවර පිළිබඳව ද සාකච්ඡා විය. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය, ප්‍රංශ ගුවන් සේවය සමඟ සහයෝගිතාව, GSP+ පහසුකම, සමුද්‍රීය ආරක්ෂාව සහ “නිල් ආර්ථිකය” (Blue Economy) යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
නියෝජිත පිරිස මෙරට ජල පිරිපහදු ව්‍යාපෘති, විශ්වවිද්‍යාල සහයෝගිතා සහ රෙදිපිළි කර්මාන්තය සඳහා සහය දැක්වීමට ද මෙහිදී කැමැත්ත පළ කළහ. මීට අමතරව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟ ද නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ ළමා ආරක්ෂාව පිළිබඳ සමාජ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණි.













