බ්‍රසීලයේ දකුණු දිග පරනා ප්‍රාන්තයේ BR-373 අධිවේගී මාර්ගයේදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ෆෙඩරල් මහාමාර්ග පොලිසිය පවසයි.
බදාදා අලුයම 3:00 ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් බස් රථයේ ගමන් කළ අය වෙති. ලොරි රථයේ රියැදුරු ද අනතුරින් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. ලොරි රථය ප්‍රතිවිරුද්ධ මංතීරුවට මාරු වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට මුලික සාක්ෂි මගින් අනාවරණය වී තිබේ.
අනතුරට ලක්වූ බස් රථය ඉම්බිටුවා (Imbituva) නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් එකක් වන අතර, එය කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි ප්‍රාන්තයේ අගනුවර වන කුරිටිබා (Curitiba) ප්‍රදේශයේ රෝහල් වෙත ගමන් කරමින් තිබියදී මෙම අනතුරට මුහුණපා ඇත. සිද්ධිය හේතුවෙන් 30,000ක පමණ ජනගහනයක් සහිත ඉම්බිටුවා නගරය නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














