මහනුවර ඇසළ පෙරහරේ ගමන් කරන අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන පුද්ගලයන් එම මොහොතේම අත්අඩංගුවට ගන්නා බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළ අතර, අලි ඇතුන් බියට පත්වන ආකාරයේ අධික ශබ්ද නළා හැඬවීම මෙන්ම එවැනි දෑ රැගෙන පෙරහර මාර්ගයට පැමිණීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අවධාරණය කළේය.
පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පදික වේදිකාව වෙන් වී ඇති බැවින්, එය අවහිර වන අයුරින් ආසන පැනවීම් කිරීමට කිසිදු අවසරයක් නොමැති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. සතර මහා දෙවිවරුන් සහ දළදා වහන්සේ උදෙසා පවත්වන මෙම පූජෝපහාරය සැණකෙළියක් ලෙස නොසලකන ලෙස ඉල්ලා සිටින හෙතෙම, පෙරහර ගමන් කරන අවස්ථාවලදී ඔල්වරසන් දීම හෝ විසිල් ගැසීමෙන් වැළකී සිටින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය වසරේදී ඇතැම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සංචාරක මඟපෙන්වන්නන් ලෙස පෙනී සිටිමින් විදේශිකයන්ගෙන් ආසන ලබාදෙන මුවාවෙන් අධික මුදල් අය කර ඇති බව වාර්තා වී ඇති අතර, මෙවර සංචාරක පොලීසියට අමතර නිලධාරීන් යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මීට පෙර වෙනත් දේවාල පෙරහරවලට පාතාල තර්ජන එල්ල වුවද මහනුවර ඇසළ පෙරහරට එවැනි තර්ජන කිසිවක් නොමැති බවත්, කෙසේ වෙතත් ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.













