හිටපු පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේට (Rodrigo Duterte) එරෙහිව එල්ල වී ඇති මානව විරෝධී අපරාධ චෝදනා (Crimes against humanity) යටතේ නඩු විභාගයක් පැවැත්වීමට ප්‍රමාණවත් කරුණු ඇති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) විනිසුරුවරුන් අද (අප්‍රේල් 23) තහවුරු කළහ. 81 හැවිරිදි වියේ පසුවන දුතර්තේ මහතා සිය පාලන කාලය තුළ ක්‍රියාත්මක කළ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” (War on drugs) යටතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මෙලෙස නඩු විභාගයට මුහුණ දෙනු ඇත.
විනිසුරුවරුන් පෙන්වා දෙන්නේ පුද්ගලයන් 76 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් දුතර්තේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බව විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. 2016 සිට 2022 දක්වා කාලය තුළ ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිතා කරන්නන් ඉලක්ක කර ඝාතනය කිරීම සඳහා විශේෂ සන්නද්ධ කණ්ඩායම් (Death squads) නිර්මාණය කර ඇති බවට පැමිණිල්ල පාර්ශ්වය චෝදනා කරයි.
කෙසේ වෙතත්, දුතර්තේ මහතා දිගින් දිගටම අවධාරණය කරන්නේ තමන් පොලිසියට නියෝග කළේ ස්වයං ආරක්ෂාව සඳහා පමණක් අවි භාවිතා කරන ලෙස බවත්, සිය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ සාධාරණ බවත්ය. ලෝක අවධානය දිනාගත් මෙම නඩු විභාගය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.














