LIV Golf තරගාවලියේ අනාගතය සහ එහි මූල්‍ය ශක්තිය පිළිබඳව විවිධ කටකතා පැතිර යන පසුබිමක, ප්‍රධාන පෙළේ ශූරතා දෙකක් (Major) ජයග්‍රහණය කර ඇති සුපිරි ක්‍රීඩක බ්‍රයිසන් ඩිචැම්බෝ (Bryson DeChambeau) තවදුරටත් එම තරගාවලිය සමඟ රැඳී සිටීමට තීරණය කර ඇත. සෞදි අරාබියේ පොදු ආයෝජන අරමුදල (PIF) සිය මූල්‍ය අනුග්‍රහය ඉවත් කරගැනීමට සූදානම් වන බවට වාර්තා පළ වුවද, ඩිචැම්බෝ පවසන්නේ තමා නව ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.
දැනට පවතින වාර්තාවලට අනුව, 32 හැවිරිදි ඩිචැම්බෝ සිය කොන්ත්‍රාත්තුව අලුත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක (පවුම් මිලියන 370ක) දැවැන්ත මුදලක් අපේක්ෂා කරන බව පැවසේ. “LIV පවතින තාක් කල් මම මෙහි රැඳී සිටීමට ක්‍රමයක් සොයා ගන්නවා. මෙය ආරම්භක අවධියේ පවතින ව්‍යාපාරයක් වැනි බැවින් විවිධ අභියෝග එල්ල විය හැකියි. නමුත් මම මේ ලීගය සාර්ථක කර ගැනීමට මට හැකි සෑම දෙයක්ම කරනවා,” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
2022 වසරේදී ආරම්භ වූ LIV Golf තරගාවලිය, PGA Tour හි ප්‍රබල ක්‍රීඩකයන් විශාල මුදලකට තමන් වෙත ආකර්ෂණය කර ගැනීමත් සමඟ ලෝක ගොල්ෆ් ක්ෂේත්‍රය දෙකඩ වීමට හේතු විය. යුරෝපීය ගොල්ෆ් බලධාරීන් මෙම වසරෙන් පසු LIV තරගාවලිය පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි අනුමාන කළද, ඩිචැම්බෝ වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගේ මෙම කැපවීම තරගාවලියේ ඉදිරි ගමනට තීරණාත්මක බලපෑමක් වනු ඇත.













