ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කරන ලද ණය වාරික ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු ණය හිමියන් කිහිපදෙනෙකු වෙත පසුගිය වසර අගදී යොමු කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් (ඩොලර් ලක්ෂ 25ක්) සයිබර් හැකර්වරුන් විසින් වංචනික ලෙස ලබාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (අප්‍රේල් 23) තහවුරු කළේය. මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ලේකම්වරයා සඳහන් කළේ මෙම මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු පසුගිය ජනවාරි මාසයේදී අනාවරණය කරගත් බවයි.
අදාළ හැකර්වරුන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ විද්‍යුත් තැපැල් (Email) පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මෙම මහා පරිමාණ සොරකම සිදු කර ඇත. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වීමට හැකර්වරුන් දැරූ උත්සාහයක් පිළිබඳව ජනවාරි මාසයේදී සිදු කළ විමර්ශනයකදී, ඊට පෙර සිදු කරන ලද ගනුදෙනුවලින් මෙම මුදල වෙනත් පාර්ශවයක් සතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලියේදී සිදුවූ මෙම සයිබර් ප්‍රහාරය මෙරට මූල්‍ය කළමනාකරණ ඉතිහාසයේ වාර්තා වූ බරපතලම තාක්ෂණික ආරක්ෂණ බිඳවැටීමක් ලෙස සැලකේ.














