පීඩාකාරී අවි ආයුධ තොගයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත දින 30ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරනු ලබන හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි මහතාගේ පිළියන්දල පිහිටි නිවස සහ අවට සුවිසල් වත්ත අද (අප්‍රේල් 23) විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායමක් එක්ව පැය 4කට ආසන්න කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, කැස්බෑව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත. කෙසේ වෙතත්, අද දින සිදු කළ මෙම අතිරේක සෝදිසි මෙහෙයුමේදී කිසිදු සැකකටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය අප්‍රේල් 16 වනදා පිළියන්දල, මාම්පෙ ප්‍රදේශයේ පිහිටි මෙම නිවස මුලින්ම සෝදිසි කළ අවස්ථාවේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් තබාගෙන සිටි බෝර 16 වර්ගයේ ගිනි අවියක්, T-56 මැගසින් 2ක්, උණ්ඩ 221ක් ඇතුළු තවත් විවිධ වර්ගයේ උණ්ඩ රැසක් සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. ඒ අනුව සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














