එවරස්ට් කඳු පන්තියට අයත් “කලපතාර්” (Kalapatthar Peak) ඇතුළු කඳු මුදුන් කිහිපයක් සාර්ථකව තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (අප්‍රේල් 23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. මෙලෙස ජයග්‍රාහීව මෙරටට පැමිණියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලදක්ෂ සාමාජික සවිනිදු හසරංග සිසුවා සහ ඔහුගේ පියා වන දිනේෂ් ජයවර්ධන මහතායි.
මෙම කඳු තරණය සඳහා පසුගිය අප්‍රේල් 05 වනදා දිවයිනෙන් පිටත්ව ගිය ඔවුන් දෙපළ, අප්‍රේල් 12 වනදා මුහුදු මට්ටමේ සිට මීටර් 4,600ක් උස “අමාඩබ්ලම්” (Amadablam) කඳු මුදුනත්, අප්‍රේල් 13 වනදා මීටර් 5,080ක් උස “නාගරගස්චූන්” (Nangkartshang Peak) කඳු මුදුනත් සාර්ථකව තරණය කිරීමට සමත් වූහ.
අනතුරුව අප්‍රේල් 15 වනදා මීටර් 5,364ක උසකින් පිහිටි “එවරස්ට් මූලික කඳවුර” (Everest Base Camp) වෙත ළඟා වූ ඔවුහු, අප්‍රේල් 16 වනදා මුහුදු මට්ටමේ සිට මීටර් 5,550ක් උසැති “කලපතාර්” කඳු මුදුන තරණය කරමින් සිය ජයග්‍රහණය සනිටුහන් කළහ. පාසල් සිසුවෙකු සිය පියා සමඟ එක්ව සිදුකළ මෙම අභියෝගාත්මක ගමන ඇගයීම සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රය වෙත හිතවතුන් පිරිසක් ද පැමිණ සිටියහ.














