මාරවිල, මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් තුළ සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, ඒ සඳහා භාවිත කළ ගිනි අවිය ප්‍රවාහනය කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.
පසුගිය වසරේ ජූලි මාසයේදී සිදුවූ මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක් බවට පොලිසිය සැක කරයි. ඝාතනයට ලක්වූ 30 හැවිරිදි කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති අතර, එම සිදුවීමෙන් අසල සිටි කුඩා දරුවෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් නිවස අසලදීම මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණි. මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ ගිනි අවි ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.














