ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරන ලද විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 2020 ජනාධිපතිවරණය සහ මෑතකාලීන මැතිවරණ දත්ත විමර්ශනය කළද ඡන්ද කොල්ලකෑම් හෝ විදේශීය මැදිහත්වීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ට්‍රම්ප් පරිපාලනය විසින් පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ භාවිත කළ ඩොමීනියන් (Dominion) ඡන්ද යන්ත්‍ර පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගෙන ඒවායේ දත්ත හැක් කර ඇත්දැයි පරීක්ෂා කිරීමට මොජාවේ රිසර්ච් (Mojave Research Inc.) නැමති සයිබර් ආරක්ෂණ ආයතනය පත් කරන ලදී.
මාස ගණනාවක් පුරා සිදු කළ පරීක්ෂණවලින් දත්ත කොල්ලකෑමක් හෝ විදේශීය මැදිහත්වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවූ අතර එම ප්‍රතිඵලය ලැබීමත් සමඟ ට්‍රම්ප්ගේ මැතිවරණ ආරක්ෂණ උපදේශක කර්ට් ඔල්සන් එම පරීක්ෂණ ආයතනය දැඩි ලෙස විවේචනය කළේය. මොජාවේ සමාගම ‘ඩීප් ස්ටේට්’ හෙවත් රහසිගත රාජ්‍ය විරෝධී බලවේග සමඟ සම්බන්ධ බවටත් ජෝර්ජ් සෝරෝස්ගෙන් මුදල් ලබා ගන්නා බවටත් ඔහු පදනම් විරහිත චෝදනා එල්ල කර ඇත. පුවර්ටෝ රිකෝ පරීක්ෂණය අසාර්ථක වුවද ට්‍රම්ප්ගේ උපදේශකයන් වන ස්ටීවන් මිලර් සහ තුල්සි ගැබාර්ඩ්ගේ මැදිහත්වීම මත මෙම විමර්ශන ජෝර්ජියා සහ ඇරිසෝනා ප්‍රාන්ත දක්වා ව්‍යාප්ත කර තිබේ.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් ජෝර්ජියා ප්‍රාන්තයේ 2020 ඡන්ද පත්‍රිකා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන අතර ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද දත්ත ලබා ගැනීමට ද සිතාසි නිකුත් කර තිබේ. ට්‍රම්ප් විසින් කර්ට් ඔල්සන් හට ෆෙඩරල් මුදල් සහ ඔත්තු සේවා (CIA, FBI) දත්ත පරිහරණය කිරීමට පුළුල් බලතල ලබා දී ඇති බව ද වාර්තා වේ. එළැඹෙන නොවැම්බර් මස පැවැත්වෙන කොංග්‍රස් මණ්ඩල අතුරු මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක තත්ත්වයක් ඇති වුවහොත් එහි ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය දැනටමත් පසුබිම සකසමින් සිටින බවට ප්‍රජාතන්ත්‍රවාදීන් චෝදනා කරයි. ධවල මන්දිර ප්‍රකාශක ඩේවිස් ඉංග්ල් මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය රජයේ කටයුතු අඩපණ කිරීමට උත්සාහ කරන පිරිසක් පතුරුවන අසත්‍ය තොරතුරු බවයි.

















