පාසල් සිසුන් අතර අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “EduCycle” වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) කෑගලු විද්‍යාලයේදී ආරම්භ විය. 2025 ජගත් පරිසර දිනයට සමගාමීව ආරම්භ කළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහා හරිත පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකසනු ලබයි. විශේෂයෙන්ම PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේද පාසල් තුළ ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා සිසුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි. මීට අමතරව, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික පහසුකම් සැලසීමට ද මෙම වැඩසටහන මගින් කටයුතු කරනු ඇත.














