ලොව බලවත්ම රාජ්‍යයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින තාක්ෂණික හා දේශපාලන එදිරිවාදිකම් හමුවේ, කෘතිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ නියැලෙන සමාගම්වලට ආරක්ෂිත සහ මධ්‍යස්ථ කලාපයක් ලෙස සිංගප්පූරුව වේගයෙන් ඉස්මතු වෙමින් පවතී. චීන ආරම්භක සමාගම් (Startups) එරට රජයේ දැඩි පාලනයෙන් මිදීමටත්, ඇමෙරිකානු සමාගම් වීසා බලපත්‍ර ගැටලුවලින් තොරව විදේශීය දක්ෂයන් සොයා ගැනීමටත් සිංගප්පූරුව තෝරා ගනිමින් සිටීම මෙයට ප්‍රධාන හේතුවයි.
සිංගප්පූරුව සතු ව්‍යාපාර හිතකාමී ප්‍රතිපත්ති, ද්විභාෂා භාවිතය සහ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමට ඇති කැපවීම නිසා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට එම රටට හැකි වී තිබේ. චීනයේ අලිබාබා (Alibaba) වැනි දැවැන්ත සමාගම්වල හිටපු විධායක නිලධාරීන් පවා සිය නව AI ව්‍යාපාර සිංගප්පූරුවේ ස්ථාපිත කරන්නේ චීන රජයේ නිරීක්ෂණයට ඇති බිය සහ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේ පහසුව සලකා බැලීමෙනි. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේදී ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන දැඩි වීසා රෙගුලාසි නිසා ලොව දක්ෂතම ඉංජිනේරුවන් ඇමෙරිකාව වෙනුවට සිංගප්පූරුව වෙත ආකර්ෂණය වෙමින් පවතී.
මේ වන විට OpenAI, Anthropic සහ Google වැනි ලොව ප්‍රමුඛ පෙළේ AI සමාගම් රැසක් සිංගප්පූරුව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ බලවත් රාජ්‍යයන්ගෙන් සිංගප්පූරුවට විවිධ සීමා පැනවීමේ අවදානමක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස චීනයෙන් ඉවත් වී සිංගප්පූරුවට පැමිණි ඇතැම් AI සමාගම්වල ප්‍රධානීන්ට චීනය විසින් සංචාරක තහනම් පවා පනවා ඇති බව වාර්තා වේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙම ද්විත්ව බල අරගලය මැද මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් AI ලෝකයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරුව දරන උත්සාහය ලෝකයේම අවධානයට ලක්ව ඇත.














