ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන සෙනසුරාදා ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පැවැත්වෙන විශේෂ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) සමුළුවක් ඇමතීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. ඔහුගේ පෞද්ගලික මාලිගාවක් වන මාර්-අ-ලාගෝ (Mar-a-Lago) හි පැවැත්වෙන මෙම සමුළුව මේ වන විටත් දැඩි දේශපාලන කතිකාවතකට බඳුන් වී ඇත.
මෙම සමුළුවේ ඇති සුවිශේෂීම සහ මතභේදාත්මක කරුණ වන්නේ ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් නම් කර ඇති “$TRUMP” නමැති මීම් කොයින් (Meme Coin) වර්ගය වැඩි වශයෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයින් 297 දෙනෙකුට පමණක් වීමයි. 2025 ජනවාරි මාසයේදී නැවත ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් විසින් ක්‍රිප්ටෝ මුදල් ක්ෂේත්‍රයට හිතකර ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දී ඇති අතර මෙම සමුළුව ඔහුගේ එම ගමන් මගෙහි තවත් තීරණාත්මක පියවරක් වනු ඇත.
කෙසේ වෙතත්, එලිසබෙත් වොරන් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් පිරිසක් මෙම සමුළුවට එරෙහිව සිය විරෝධය පළ කර තිබේ. ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සිය දේශපාලන බලය භාවිත කරමින් ක්‍රිප්ටෝ ව්‍යාපාර හරහා ලාභ ලැබීම බරපතළ “පරස්පර විරෝධී අවශ්‍යතාවක්” (Conflict of interest) බව ඔවුන්ගේ චෝදනාවයි. නමුත් ජනාධිපති ට්‍රම්ප් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බව අවධාරණය කරයි.















