නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හතළිස් දෙලක්ෂ හැට දහසක් වටිනා චීන නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. 35 හැවිරිදි සහ 53 හැවිරිදි වියේ පසුවන මොවුන් දෙදෙනා කුලී රැකියාවල නිරත වන්නන් බව හඳුනාගෙන ඇති අතර, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ මෙම දුම්වැටි තොගය රහසිගතව රැගෙන යාමට උත්සාහ කර තිබේ. රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ඔවුන් සතු වූ ගමන් මලු පහක තිබී දුම්වැටි 28,400ක් අඩංගු දුම්වැටි කාටුන් 412ක් සොයාගෙන ඇත.
මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ චීන ජාතිකයෙකු විසින් චීනයෙන් මිලදී ගත් මෙම දුම්වැටි තොගය කාම්බෝජය සහ මැලේසියාව හරහා කටුනායක වෙත රැගෙන විත් ඇති බවයි. ක්වාලාලම්පූර් සිට පැමිණි ගුවන් යානයකින් මෙම තොගය මෙරටට ගෙන ආ පසු, එය ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාම සඳහා මෙම බංග්ලාදේශ ජාතිකයන් වෙත භාරදී තිබේ. කටුනායක රේගු නිලධාරීන් විසින් සැකකරුවන් රඳවාගෙන සිටින අතර මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














