ආර්ජන්ටිනාව තුළ ඉදිවෙමින් පවතින ඇතැම් චීන යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පළ කර තිබේ. අමෙරිකානු අවි පාලන සහ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ උප ලේකම් තෝමස් ඩිනැන්නෝ (Thomas DiNanno) බුවනෝස් අයර්ස් හි පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
චීනය ආර්ජන්ටිනාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වුවද, වාණිජ අවශ්‍යතා සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා අතර නිසි සමබරතාවයක් පවත්වා ගැනීම අභියෝගාත්මක වී ඇති බව උප ලේකම්වරයා පෙන්වා දුන්නේය. යුද උපකරණ සම්බන්ධීකරණය සහ නීතිය බලාත්මක කිරීමේ පුහුණුවීම් සම්බන්ධයෙන් අමෙරිකාව සහ ආර්ජන්ටිනාව මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටියි.
ආර්ජන්ටිනාවට පැමිණීමට පෙර තෝමස් ඩිනැන්නෝ චිලී රාජ්‍යයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක සහ පතල් කැණීම් ක්ෂේත්‍රවල ගිවිසුම්වලට අමෙරිකාව සහ චිලී රාජ්‍යය අත්සන් තබන ලදී. මින් පෙර සිටම ආර්ජන්ටිනාවේ පතාගෝනියා ප්‍රදේශයේ පිහිටි චීන අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය වැනි ව්‍යාපෘති අමෙරිකාවේ දැඩි සැකයට බඳුන් වී තිබුණි.














