ලොව විශාලතම අර්ධ සන්නායක නිෂ්පාදකයා වන තායිවානයේ TSMC සමාගම, 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඔවුන්ගේ නවතම තාක්ෂණික සැලසුම් එළිදක්වා තිබේ. මෙහිදී A13, A12 සහ N2U වැනි අති නවීන ප්‍රොසෙසර් නිෂ්පාදන ක්‍රියාවලීන් (Processes) හඳුන්වා දීම විශේෂත්වයකි.
2029 වසරේදී සමූහ නිෂ්පාදන කටයුතු (Mass production) ආරම්භ කිරීමට නියමිත A13 තාක්ෂණය හරහා චිප් එකක ප්‍රමාණය (Area) සියයට 6කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වේ. කෘතිම බුද්ධිය (AI) සහ ඉහළ කාර්යසාධනයක් සහිත පරිගණක (HPC) සඳහාම වෙන්වූ A12 තාක්ෂණය ද හඳුන්වා දී ඇති අතර, එමගින් දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අධිවේගී චිප් නිපදවීමට හැකි වනු ඇත.
නැනෝ මීටර් 2 පවුලේ නවතම සාමාජිකයා වන N2U, 2028 වසරේදී නිෂ්පාදනය ඇරඹීමට නියමිතය. එමගින් විදුලි පරිභෝජනය සියයට 10කින් පමණ අඩු කර ගැනීමට හෝ කාර්යසාධනය සියයට 4කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකි වේ. මීට අමතරව, මෝටර් රථ සහ රොබෝ තාක්ෂණය සඳහාම වෙන්වූ N2A පද්ධතිය ද 2028 වන විට නිම කිරීමට TSMC සැලසුම් කර ඇත.
කෙතරම් කුඩා චිප් නිපදවුවද ඒවායේ කාර්යක්ෂමතාවය රඳා පවතින්නේ ඒවා අසුරන ආකාරය මත බැවින්, CoWoS සහ SoW-X වැනි නවතම ඇසුරුම්කරණ තාක්ෂණයන් සඳහා TSMC වැඩි අවධානයක් යොමු කර තිබේ. විශේෂයෙන්ම AI යෙදවුම් සඳහා අවශ්‍ය වන දැවැන්ත දත්ත හුවමාරු හැකියාව (HBM) ලබා දීමට මෙම තාක්ෂණයන් ඉවහල් වනු ඇත.
TSMC හි මෙම නව මාර්ග සිතියම මගින් පැහැදිලි වන්නේ ඉදිරි වසර කිහිපය තුළ AI තාක්ෂණය, ස්වයංක්‍රීය රථවාහන සහ අධිවේගී දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රවල දැවැන්ත පිම්මක් ඇති වනු ඇති බවයි.














