ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා ඉදිරියේදී ලබා දෙන මූල්‍ය කොන්ත්‍රාත්තු, ඔවුන්ගේ දක්ෂතාව සහ ජයග්‍රහණ මත පදනම් වූ නව ක්‍රමවේදයක් යටතේ සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට තරග ජයග්‍රහණය කරන අවස්ථාවලදී ක්‍රීඩකයින්ට වැඩි මූල්‍ය ප්‍රතිලාභ හිමිවන අතර තරග පරාජය වීමේදී එම ප්‍රතිලාභ සීමා වන බවයි. ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා පවතින උනන්දුව වැඩිකිරීම මෙම නව ගෙවීම් ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ වීමට ප්‍රථම මෙම නව ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. ඒ අනුව ඉදිරි තරගාවලිවලදී ක්‍රීඩකයන් පෙන්වන දක්ෂතා මත ඔවුන්ගේ වාර්ෂික ආදායම තීරණය වනු ඇත. ක්‍රීඩකයින්ගේ වගවීම සහ වෘත්තීය මට්ටම තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ගත් මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














