ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි – මාර්තු) සඳහා මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308.11ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 1.59ක වර්ධනයකි. පසුගිය මාර්තු මාසයේදී අපනයන ආදායම සියයට 5.2ක සුළු පසුබෑමක් පෙන්නුම් කළද, සමස්තයක් ලෙස පළමු මාස තුන තුළ අපනයන අංශය ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, මුහුදු ආහාර සහ විද්‍යුත් උපාංග යන අංශයන්හි අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින ඉහළ ඉල්ලුම මත එම අංශයේ ආදායම සියයට 44කින් ඉහළ ගොස් ඇති අතර, මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනයද ඉහළ අගයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය මෙන්ම තේ අපනයනය පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙළින් සියයට 8කින් සහ 5කින් පමණ පහත වැටී ඇත. අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ ලෙස තවදුරටත් රැඳී සිටින අතර, ඉන්දියාව දෙවන විශාලතම අපනයන ගමනාන්තය ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කරගෙන තිබේ.














