ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ එරට ආගමන හා විගමන අංශ (ICE) භාරයේ මාස 10කට අධික කාලයක් රඳවා තබාගෙන සිටි කාන්තාවක සහ ඇගේ දරුවන් පස්දෙනා නිදහස් කිරීමට ටෙක්සාස් මහාධිකරණ විනිසුරුවරයෙකු නියෝග කර තිබේ. හයාම් එල් ගමාල් නමැති මෙම කාන්තාව සහ වයස අවුරුදු 5ත් 18ත් අතර පසුවන ඇගේ දරුවන් පස්දෙනා පසුගිය වසරේ ජූනි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. පවුලක් ලෙස මෙලෙස දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ට්‍රම්ප් පාලන සමයේ වාර්තා වූ දීර්ඝතම පවුල් රැඳවුම් කාලසීමාව ලෙස සැලකේ.
මෙම පවුල අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ හයාම්ගේ හිටපු සැමියා වන මොහොමඩ් සබ්‍රි සොලිමන් විසින් කොලරාඩෝහි බෝල්ඩර් ප්‍රදේශයේ සිදුකළ බව කියන බෝම්බ ප්‍රහාරයකි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 82 හැවිරිදි කාන්තාවක පසුව මියගිය අතර, එම සිදුවීමත් සමඟ මොවුන් ෆෙඩරල් අත්අඩංගුවට පත්විය. මාස දහයකට අධික කාලයක් රැඳවුම් භාරයේ සිටීමෙන් පසු විනිසුරු ෆ්‍රෙඩ් බියරි ලබාදුන් නියෝගයට අනුව ඔවුන් ඊයේ (23) නිදහස් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරයා තහවුරු කළේය.














