යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනියේ ව්‍යාපාරික විශ්වාසය (Business Morale) අප්‍රේල් මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා වැඩි මට්ටමකින් පහත වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඉරාන යුද්ධය හේතුවෙන් පවතින අස්ථාවරත්වය හමුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දැඩි කලකිරීමට පත්වීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.
ජර්මනියේ Ifo ආයතනය නිකුත් කළ දත්තවලට අනුව, එරට ව්‍යාපාරික දේශගුණ දර්ශකය (Business Climate Index) මාර්තු මාසයේ පැවති 86.3 සිට අප්‍රේල් මාසයේදී 84.4 දක්වා පහත වැටී ඇත. මෙය 2020 වසරේ මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ලෙස සැලකේ. ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කළේ මෙය 85.5ක් වැනි අගයක් දක්වා සුළු වශයෙන් පහත වැටෙනු ඇති බව වුවද, යුදමය වාතාවරණය හේතුවෙන් එය තවදුරටත් අඩුවී ඇත.
Ifo ආයතනයේ සභාපති ක්ලෙමන්ස් ෆුස්ට් මහතා පෙන්වා දෙන්නේ ඉරාන අර්බුදය ජර්මානු ආර්ථිකයට ප්‍රබල පහරක් එල්ල කර ඇති බවයි. මෙම තත්ත්වය යුරෝපීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.














