වසර ගණනාවක් පුරා තමන්ටම කියා ස්ථිර නිවසක් ඉදිකර ගැනීමේ සිහිනයක නිමග්නව සිටි දිළිඳු ජනතාවගේ බලාපොරොත්තු අද වන විට කැළෑවට බිලිවී විනාශ වී යන බවට අතිශය සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. 2015 – 2019 කාල සීමාව තුළ ජනතාවගේ බදු මුදලින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති රැසක් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන බවට පත්වෙමින් පවතින බවයි නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. සැලසුම් කළ පරිදි නිවාස 64,407ක් ඉදිකිරීමට නියමිතව තිබුණද ඉන් නිම කිරීමට හැකි වී ඇත්තේ නිවාස 10,532ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් වීම තුළ මෙරට නිවාස ක්ෂේත්‍රයේ සිදු වී ඇති මහා පරිමාණ අක්‍රමිකතාවයක ලක්ෂණ පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයින් පවසනවා.
විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ඇතුළු ප්‍රදේශවල සංචාරයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා හමුවේ දිග හැරුණේ අතිශය ඛේදනීය දර්ශන පෙළක්. වැලිකන්ද කොට්ඨාසයේ පමණක් ගම්මාන 42ක පවුල් සඳහා නිවාස ආධාර සහ ණය ලබා දෙන බව පවසා ආරම්භ කළ ඉදිකිරීම් සඳහා ලැබී ඇත්තේ එක් වාරිකයක් පමණක් වීම හේතුවෙන් සියලු වැඩකටයුතු අතරමග නතර වී තිබෙනවා. බුරුලු බැද්දේ නිවාස 35ක්, අසේල පුර නිවාස 22ක් සහ කාලිංගවිල බෑන ගම නිවාස 22ක් ලෙස අඩක් නිම කළ බිත්ති පමණක් ඉතිරිව තිබෙන මෙම ගම්මාන අද වන විට අතහැර දැමූ සොහොන් පිටි මෙන් දිස්වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ.
ජනතාවට හිසට සෙවණක් ලබා දීමේ උතුම් අරමුණ දේශපාලන වාසි සඳහා පමණක් යොදා ගනිමින් ජාතික ධනය නිකරුණේ නාස්ති කිරීමේ මෙම ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමට අමාත්‍යාංශය මට්ටමින් මේ වන විට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. දිළිඳු පවුල්වල අවසාන බලාපොරොත්තුව වූ නිවාස සිහිනය මෙලෙස මහ දවල් බොඳ කර දැමූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්ය කරුණක් වන අතර, අතරමග නතර වූ මෙම ව්‍යාපෘති සඳහා යුක්තිය ඉටුවන තෙක් මුළු රටම බලා සිටිනවා. බලය තිබූ සමයේ ජනතා මුදලින් කළ මෙම අපරාධය හමුවේ අසරණ වූ ගැමියන්ගේ කඳුළට වගකියන්නේ කවුද යන්න අදටත් විසඳිය නොහැකි ප්‍රශ්නයකි.













