සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සහ ආරක්ෂාවට එල්ල වන බලපෑම් පිළිබඳව පවතින දැඩි කනස්සල්ල හමුවේ, ලොව පුරා රටවල් කිහිපයක් ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට පියවර ගනිමින් සිටී. මෙහි ප්‍රමුඛතම පියවරක් තබමින් ඕස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ ලොව පළමු රට බවට පත්විය.
මෙම තහනම යටතේ TikTok, Alphabet සමාගමට අයත් YouTube සහ Meta සමාගමට අයත් Instagram සහ Facebook වැනි ජනප්‍රිය වේදිකාවන් වෙත පිවිසීමට දරුවන්ට අවස්ථාව අහිමි වේ. ඕස්ට්‍රේලියාවට අමතරව යුරෝපීය රටවල් රැසක් ද දරුවන්ගේ ඩිජිටල් ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා නව නීති රීති හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටී.
සමාජ මාධ්‍ය සමාගම් ද සිය වේදිකාවන් තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ තාක්ෂණික සීමාවන් හඳුන්වා දී ඇතත්, රජයන් පෙන්වා දෙන්නේ ස්වේච්ඡා සීමාවන්ට වඩා දැඩි නීතිමය රාමුවක අවශ්‍යතාව පවතින බවයි. විශේෂයෙන්ම මාර්ගගත (online) හිංසනයන්ගෙන් සහ අහිතකර අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙම නව නියාමනයන්හි මූලික අරමුණ වී තිබේ.














