පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ගොනුකර ඇති නඩුවේදී, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළ විශේෂ ඉල්ලීමක් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (24) ප්‍රතික්ෂේප කරන ලදී. පූජිත් ජයසුන්දර මහතා මීට පෙර දින විත්ති කූඩුවේ සිට ඉදිරිපත් කළ විත්ති වාචකයට අලුතින් කරුණු දෙකක් එක් කිරීමට අවස්ථාව ඉල්ලා සිටි අතර, අධිකරණය තීරණය කළේ එම වරප්‍රසාදය නැවත නැවතත් ලබා දීම නීතියට පටහැනි බවයි.
විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ, පෙර දින පැය තුනකට අධික කාලයක් ප්‍රකාශයක් කළද ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයාට මඟහැරී ඇති බවයි. කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දැඩි ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ, එවැනි ඉල්ලීමකට ඉඩ දීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවයි.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීම විත්තිකරුවෙකුට හිමිවන විශේෂ වරප්‍රසාදයක් බවයි. එම අවස්ථාවේදී විත්තිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පැමිණිල්ලට අවස්ථාවක් නොලැබෙන බැවින් එම වරප්‍රසාදය භුක්ති විඳීමට නැවත නැවත අවස්ථාව ලබා දීම නීති විරෝධී වන බව අධිකරණය අවධාරණය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855ක් යටතේ මෙම නඩුව පවරා ඇත. විත්තියේ සාක්ෂි කැඳවීම සහ විත්ති වාචක ඉදිරිපත් කිරීම අදින් අවසන් වූ අතර, නඩුව නැවත මැයි මස 22 වනදා කැඳවීමට නියම කෙරිණි. එදිනට දෙපාර්ශවයේ නීතිඥ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














