විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මෙරට ජාවාරම්කරුවන් සිව්දෙනෙකුට අයත් බැංකු ගිණුම් 07ක් වහාම අත්හිටුවීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මීට අමතරව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියකගේ නමින් පවතින තවත් බැංකු ගිණුම් 27ක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බැංකු කළමනාකරුවන්ට නියම කළේය.
පසුගිය අප්‍රේල් 07 වැනිදා ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 09ක් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමඟ මංගල සුරාජ් පෙරේරා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් වන ‘කොණ්ඩ රංජි’ සහ ‘දිප්පිටිගොඩ ළහිරු’ යන අය සමඟ එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බව හෙළි වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් රැසක තැන්පත් කර ඇති බවත්, එම ගිණුම් භාවිත කරමින් ටෙලර් යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීම් සහ භාණ්ඩ මිලදී ගැනීම් සිදු කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන්ගේ වත්කම් සහ ජාවාරම්වලට ඇති සම්බන්ධතාවය තහවුරු කර ගැනීම සඳහා අදාළ බැංකු ගිණුම්වලට මුදල් ලැබුණු ආකාරය, මුදල් ආපසු ලබා ගැනීම් සහ එම අවස්ථාවන්ට අදාළ CCTV දර්ශන ද විමර්ශන නිලධාරීන්ට ලබා දෙන ලෙස අධිකරණය බැංකු බලධාරීන්ට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද පොලිසියට නියම කෙරුණි.













