කොළඹ වරාය නගරය (Port City) වෙත විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉතා දුර්වල මට්ටමක පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) අනාවරණය වී තිබේ. වාර්තාවලට අනුව විදේශීය සංචාරකයන් වරාය නගරයට පැමිණීමේ ප්‍රතිශතය 1.5% ක් තරම් ඉතා අඩු අගයක් ගෙන ඇත.
විදේශිකයන්ගේ පැමිණීම අඩුවීම සැලකිල්ලට ගනිමින්, වරාය නගරයේ තීරු බදු රහිත (Duty-Free) සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙතෙක් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත. වරාය නගරය තුළ ඇති වෙළඳ මධ්‍යස්ථාන වඩාත් ප්‍රචලිත කිරීම සහ වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
තීරු බදු රහිතව ලබාගන්නා භාණ්ඩ දේශීය වෙළඳපොළ තුළ අනිසි ලෙස හුවමාරු වීම හෝ කළු කඩ ව්‍යාපාර සඳහා යොදාගැනීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව මෙම ක්‍රියාවලිය සිදුවන බව සහතික කිරීම සඳහා ඉදිරියේදී නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.














