ඇමරිකානු මධ්‍යම බැංකුවේ (Federal Reserve) සභාපති ජෙරොම් පවෙල්ට එරෙහිව පවත්වාගෙන ගිය විමර්ශන අවසන් කිරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වොෂින්ටන් ඩී.සී. හි ඉහළම ෆෙඩරල් අභිචෝදක ජීනින් පීරෝ විසින් මෙම තීරණය නිවේදනය කර ඇති අතර, එමඟින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මධ්‍යම බැංකු ප්‍රධානියා ලෙස නම් කර සිටින කෙවින් වෝෂ්ගේ පත්වීම ස්ථිර කර ගැනීමට තිබූ ප්‍රධාන බාධාවක් ඉවත් වී ඇත. මධ්‍යම බැංකු මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වූ අධික පිරිවැය සම්බන්ධයෙන් මතු වූ ගැටලු මෙලෙස පරීක්ෂාවට ලක්ව තිබුණි.
මෙම පරීක්ෂණය හුදෙක් දේශපාලන පළිගැනීමක් ලෙස මීට පෙර ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ද විවේචනයට ලක් කර තිබූ අතර, පවෙල් මහතා කිසිදු වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බවද අධිකරණයේදී අනාවරණය විය. අභිචෝදක පීරෝ සඳහන් කරන්නේ මෙම පිරිවැය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම බැංකුවේ අභ්‍යන්තර නිරීක්ෂණ අංශය (Inspector General) වෙත භාර දී ඇති බවයි. මෙම තීරණයත් සමඟ මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳව ඇති වී තිබූ දේශපාලන අර්බුදය තරමක් සමනය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.














