ඇමරිකානු විශ්වවිද්‍යාලවල සිසුන් ඇතුළත් කරගැනීමේදී වාර්ගික පදනම සලකා බලන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා එම ආයතන සතු දත්ත ලබාදෙන ලෙස ට්‍රම්ප් පරිපාලනය සිදුකළ බලපෑම් වළක්වමින් ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝගයක් නිකුත් කර තිබේ. බොස්ටන්හි දිස්ත්‍රික් විනිසුරු එෆ්. ඩෙනිස් සේලර් විසින් ලබා දුන් මෙම තීන්දුව අනුව හාවඩ්, යේල් සහ කොලොම්බියා වැනි අයිවි ලීග් (Ivy League) ගණයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ඇතුළු රට පුරා පිහිටි උසස් අධ්‍යාපන ආයතන රැසකට සහනයක් හිමිවනු ඇත. 2023 වසරේදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උසස් අධ්‍යාපන ප්‍රවේශයේදී වාර්ගික පදනම මත පදනම් වූ විශේෂ සැලකිලි (Affirmative Action) අවලංගු කිරීමෙන් පසු එම තීන්දුව ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසර හතක දත්ත ඉල්ලා තිබුණි.
ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම දත්ත ඉල්ලා සිටියේ විශ්වවිද්‍යාල විසින් තවමත් රහසිගතව වාර්ගික පදනම මත ශිෂ්‍යයන් තෝරාගන්නා බවට චෝදනා කරමිනි. කෙසේ වෙතත්, මෙවැනි අතිවිශාල දත්ත ප්‍රමාණයක් කෙටි කාලසීමාවක් තුළ වාර්තා කිරීමට නියම කිරීම ප්‍රායෝගික නොවන බවත්, එය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ධාරිතාව පිළිබඳ ගැටලු මතු කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත. මෙම නීතිමය ක්‍රියාමාර්ගය සඳහා ප්‍රාන්ත 17ක් මෙන්ම ප්‍රධාන අධ්‍යයන සංගම් කිහිපයක් ද මැදිහත් වී සිටින අතර, මෙය ට්‍රම්ප් පරිපාලනය අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට දරන උත්සාහයට එල්ල වූ තීරණාත්මක බාධාවක් ලෙස සැලකේ.














