රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට පත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු බව අනාවරණය වී තිබේ. ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 1:25 ට පමණ දිවයිනට පැමිණ ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරුගේ ගමන් මල්ලේ තිබූ වියළි පළතුරු පැකට් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 505 ක් වන අතර එහි වෙළඳපොළ වටිනාකම රුපියල් දෙකෝටි පනස් ලක්ෂ පනස් දහසක් ලෙස ගණනය කර ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.















