සයිප්‍රසයේ පැවැත්වෙන යුරෝපීය සංගමයේ නායකයන්ගේ සමුළුව අතරතුර, ස්පාඤ්ඤය නේටෝ (NATO) සංවිධානයෙන් ඉවත් කිරීමට ඇමරිකාව තර්ජනය කර ඇති බවට වාර්තා වීමත් සමඟ යුරෝපීය රටවල් සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඇමරිකානු පෙන්ටගනයෙන් නිකුත් වූ බව කියන විද්‍යුත් ලිපියක් මගින් අනාවරණය වී ඇත්තේ, ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකාවට සහය නොදෙන මිත්‍ර රටවලට දඬුවම් කිරීමට පියවර ගන්නා බවයි. විශේෂයෙන් ස්පාඤ්ඤය නේටෝ සාමාජිකත්වයෙන් අත්හිටුවීමට ඇති හැකියාව පිළිබඳව එහි සඳහන් වී ඇති අතර, එය යුරෝපීය නායකයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
නේටෝ ගිවිසුම් ප්‍රකාරව සාමාජික රටක් නෙරපා හැරීමට නිල ප්‍රතිපාදන නොමැති පසුබිමක, ඇමරිකාවේ මෙම බලපෑම හමුවේ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස් පවසා ඇත්තේ තමන් නේටෝ සංවිධානය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් නිසි පරිදි ඉටුකරන බවයි. සයිප්‍රස් සමුළුවට සහභාගී වූ ඕලන්ද අගමැති රොබ් ජෙටන් ඇතුළු නායකයන් ස්පාඤ්ඤයේ සහයට ඉදිරිපත් වෙමින් අවධාරණය කළේ ස්පාඤ්ඤය සැමවිටම නේටෝ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පවතින බවයි. යුරෝපීය රටවල් නේටෝ සංවිධානය ශක්තිමත් කිරීමට කැපවී සිටින බවත්, ස්පාඤ්ඤයේ සාමාජිකත්වය වෙනස් වීමට කිසිදු හේතුවක් නොමැති බවත් ජර්මනිය ඇතුළු අනෙකුත් රටවල් ද මෙහිදී ප්‍රකාශ කර තිබේ.














