ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණින් සංවිධානය කරනු ලබන “Beauty of Sri Lanka” ඡායාරූප ප්‍රදර්ශනය හෙට (අප්‍රේල් 25) අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර හොලිවුඩ් හි Celebrity Centre International හිදී පැවැත්වීමට නියමිතය. ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සහ අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය හෙට පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.
ලෝක මිහිකත දිනයට සමගාමීව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනයට සමගාමීව “මිහිකත සුරකිමු” නමැති චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ මෙරට ස්වභාවික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර, මේ සඳහා “අද දෙරණ” මාධ්‍ය ආයතනය පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙයි. එක්සත් ජනපදය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරක ලැදියා ඇත්තන්ට ද ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සමීපව අත්විඳීමට මෙමඟින් අවස්ථාව උදා වේ.














