ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් කුර්දිස්තාන් සහ කර්මන්ෂා (Kermanshah) යන පළාත් දෙකක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 240කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ මෙහර් (Mehr) පුවත් ඒජන්සිය වාර්තා කරයි. කුර්දිස්තාන් පළාතේදී සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයෙකු මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී විශාල ආයුධ සහ පතොරම් තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
කර්මන්ෂා පළාතේදී “ප්‍රතිවිප්ලවවාදී කණ්ඩායම්වලට” සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ඊශ්‍රායල මොසාඩ් (Mossad) බුද්ධි අංශය සමඟ සබඳතා පැවැත්වූ බව කියන ඔත්තුකරුවන් සිව්දෙනෙකු ද සිටින බව සඳහන් වේ. මීට අමතරව, ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ ස්ථාන පිළිබඳ තොරතුරු සතුරු ජාලයන් වෙත ලබාදුන් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ටෙහෙරාන් අගනුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉරාන රජය මෙලෙස දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.














