මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ස්පිරිට් එයාර්ලයින්ස් (Spirit Airlines) ගුවන් සමාගම ගොඩගැනීම සඳහා අමෙරිකානු “ආරක්ෂක නිෂ්පාදන පනත” (Defense Production Act) නීතිමය පදනම ලෙස භාවිතා කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සලකා බලමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙහිදී රජය අපේක්ෂා කරන්නේ ආරක්ෂක නිෂ්පාදන පනතේ 3 වන වගන්තිය (Title 3) යටතේ පවතින බලතල භාවිතා කිරීමටයි. මෙම වගන්තිය මඟින් ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය සැපයුම් දාමයන් සහ කාර්මික ධාරිතාව ආරක්ෂා කර ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනය කිරීමට රජයට අවසර ලැබේ. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ අමෙරිකානු ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ජාතික ආරක්ෂාවට තීරණාත්මක සාධකයක් ලෙස රජය සලකන බව මූලාශ්‍ර පෙන්වා දෙයි.
ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය වීමට සහ එය බිඳවැටීම වැළැක්වීමට මෙලෙස මැදිහත් වීම හරහා, ජාතික ආරක්ෂක අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව පවත්වා ගැනීම රජයේ අරමුණයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ දේශීය සහ විදේශීය සැපයුම් ජාලයන් ශක්තිමත්ව තබා ගැනීමට මෙම පියවර ඉවහල් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.













